දානයක් භාර ගැනීම

සංසාර ගමනට සත්වයා ඇදබැඳ තබන්නේ ණය ගනුදෙණුව නිසාවෙනි. තමන් විසින් හදන ලද හේතුවට අනුව ඵලය ඔබට උරුමය. කරන ලද පිනෙහි හෝ පවෙහි විපාක ඔබට උරුමය. ධර්මතාවය එයයි. තිස් එක් තලයේ ඉපදීමට හේතු සකස් කරන්නේ ඔබමය……….

එබැවින්, 

තවදුරටත් සංසාර ගමනෙහි යෙදීම නිසා ඇති වන බියකරු බව දැක, සසර ගමන කෙලවර කිරීමට ඔබට අවස්තාව හිමිය. තව දුරටත් තමා ගෙනගිය ආස්වාද වැඩ පිලිවෙලෙහි කිසිම ගත යුත්තක් නැති බවත්, එම වැඩ පිලිවෙළ නිසා උපදින පින හා පවෙහි විපාක විඳීමට තමන් සසර ගමනට බැඳෙන බවත්,  පින හා පව දෙකින්ම මිදිය යුතු බවත්, එනම් කුසලය වැඩිය යුතු බවත්,  මිනිසෙකු  ලෙස උපත ලද මෙම ජාතියෙහි, ඔබට කල්‍යාණ මිත්‍රයෙකුගෙන් බන ඇසීමෙන් අත් දැකිය හැකිය………

වෙනත් විදියකට කියතොත්, සසර ගමනින් මිදී නිදහස් වීමට නම්, තමාගේ ණය ගනුදෙණුවෙන් ද  මිදී නිදහස් විය යුතු බව ඔබ තේරුම් ගන්නවා ඇත……. 

මෙම දැක්ම හට ගත් සුතවත් අරිය ශ්‍රාවකයා, ඉදිරියට ඇතිවන ණය ගනුදෙනුවලින් මිදීමට අදිටන් කර ගනී.

තවද, රාගයෙන්,  ද්වේශයෙන්, මෝහයෙන් සසර ගමන තුල ක්‍රියාත්මක වීම නිසා ගොඩ නගාගෙන ඇති ණය කන්දෙන්ද ගැලවිය යුතු බව තේරුම් ගනී. එනම් ණය විනය කළ යුතු බව තේරුම් ගනී. ඒ සඳහා කමාව ගැනීම මගින්, ණය කොටසකින් ගැලවී යා හැකිය. තවද, පින් බලාපොරොත්තුවෙන් සිටින ණය ගනුදෙණුකරුවන් හට කැපකොට පින් අනුමෝදනා කිරීම මගින්ද, ඔබට ණයෙන් මිදී නිදහස් විය හැකිය. එම මහගු ක්‍රියාව සිදු කළ හැකිවීම මෙම පුන්‍ය භූමියේ විශේෂත්වයයි….

ඔබට එම ඥාති ධර්මයන් පෙන්වා දී, ඔබට නිබ්බාන වීමට ඇති බාධක/ ආවරණ ඉවත් කරදීමට උපකාර කිරීම, මෙම ධම්මායතනයේ අරමුණයි.   

දානය පිදීම සඳහා උපදෙස්

හීල් දානය - පෙ.ව. 6.00
දවල් දානය - පෙ.ව. 11.00

1. දානයක් වෙන්කරවා ගැනීමට ප්‍රථම, ඔබ විසින් ධර්ම දේශනා ශ්‍රවණය කර තිබීම අනිවාර්‍යය.

පින් අනුමෝදනාවක් සිදු කිරීමේ හැකියාව ඔබ සතුවීම එහි අරමුණයි. ඔබ  සිරිසද්ධම්ම දේශනා ශ්‍රවනය කිරීම තුලින් හා අනන්ත සංසාරේ පටන් මේ මොහොත දක්වා රැස් කරගෙන  ඇති පුණ්‍ය ශක්තිය, අනන්ත සංසාරේ පටන්  බැඳි බැඳී ආ මේ සංසාර ගමනෙන් මිදී නිදහස් වීමට ඔබත් එක්ක පැමිණි සියලුම ඥාතීන්ට, කැප කොට පින්දී පින් පවරා පින් අනුමෝදනා කර ඥාති ධර්මය ඉටු කිරීමට එමගින් අවස්ථාව ලැබේ. පෘතක්ජනයා විසින් සෑම විටම තමාගේ ලෞකික ජීවිතයේ සැපවත්බව සොයන  බැවින්, ඔහුට දානයේ නියම ප්‍රථිඵල නොලැබේ. 

2. ඔබගේ පුබ්බේතකතපුඤතා ශක්තිය මතු කර ගන්න.

ඔබට ලැබී ඇත්තේ කණ්ඩායම් කිහිපයක් අතර බෙදා දුන් දානයක, මහගු අවස්තාවකි. එයද ඔබම හදන ලද හේතුවක ඵලයක් ම බැවින්, දානය බෙදීමට අවස්තාව ලැබීම/ නොලැබීම උපේක්ඛාවෙන් පිලි ගන්න. දානය පිලියෙල කිරීම සදහා හැකි අයුරින් දායක වන්න. අවශ්‍ය නම් ධම්මායතනයේ නවාතැන් පහසුකම් සැපයේ.

3. සංසාර ණය ගනුදෙණුවලින් මිදීමේ අවස්ථාව මග හැර නොගන්න

දානය පිළිගැන්වීම මෙන්ම දාන ශාලාව පිරිසිඳු කිරීම, අතුරුපසට පලතුරු සකස් කිරීම, දාන පාත්තර සකස් කිරීම, දානය අවසානයේ භාජන පිරිසිදු කිරීමෙන් පවා ඔබට මෙම කාර්‍යයන්ට දායක විය හැක. මෙනයින් ඔබ  හද තුල පින වර්ධනය වීමට හේතු වේ.

4. පිසින ලද ආහාර වල සුරක්ෂිතතාවය

ඔබ විසින් පිසින ලද ආහාර ගෙන ඒමට අදහස් කරන්නේ නම්, කල් වේලා ඇතිව කාර්‍යාලය දැනුවත් කලයුතුය. කාර්‍යාලයේ උපදෙස් මත කටයුතු කළ යුතුය.

5. දානය බෙදීම අනලස්ව සිදු කරන්න

බුද්ධ පූජාවට සහභාගි වීමෙන් පසු දාන ශාලාවට පැමිණ දානය බෙදීමට ඉදිරිපත් වන්න. සෑම කණ්ඩායමක් ම නියෝජනය වන පරිදි ඉදිරිපත් වීම ඔබගේ යුතුකම මෙන්ම වගකීම ද වන්නේය

6. සංසාර ණය ගනුදෙණුවෙන් මිදී නිදහස් වීම මූලික අරමුණ කොට ගන්න

දානය පූජා කිරීමෙන් පමණක් ඔබගේ ණය ගනුදෙණු අහෝසි නොවේ. ඔබගේ පැහැදුනු සිතින් කරන පින් අනුමෝදනාව ණයෙන් මිදීමට හේතු වන අතර ස්වාමීන්වහන්සේ විසින් ඔබට මගපෙන්විම පමණක් සිදු කරයි. 

7. අරමුණ වෙනස් විය හැකි බාධක මගහරින්න

දුරකථන සක්‍රීයව තැබීමෙන් ඔබට බාධා ඇතිවිය හැකි බැවින් ඒවා නිෂ්ක්‍රීයව තබා ගන්න. ඡායාරූප/ වීඩියෝ ගැනීමට උත්සාහ කිරීම නිසාද ඔබේ අරමුණ වෙනස් වේ. කුඩා ලමයින් ශබ්ද කළහැකි බැවින් ඔවුන් ඈත් කොට තබන්න. කුඩා ළමයින් විසින්, ඔවුන් නොදැන කරනා බාධාවට විපාක විඳීමට සිදුවන බැවින් ඔවුන් ඈත් කොට තැබීම කාගේත් යහපත පිණිසම හේතු වේ.